Sunday, August 7, 2011

පුදුමයි සතුන් හා මිනිසුන් අතර පෙම...


සුරතල් සතුන් කියන්නේ ඇත්තටම වෙලාවකට අපේ ජීවිතේට පුදුමාකාර සමීප බවක් දක්වන අය කියලා හිතෙනවා.එයාලට අපේ ආදරේ පුදුම විදියට ඕන.අපි ටිකක් සැර කළොත් දවසම පැත්තකට වෙලා දුකින් ඉන්නවා.විහිලුවක් නෙවෙයි.එයාලට හිතන්න තරම් බුද්ධියක් නැති බව ඇත්ත.නමුත් උන්ට ආදරය කියන දේ හොඳින්ම දැනනවා.මගේ ජීවිතේ මට එහෙම අත්දැකීම් තියෙනවා.මම මේ කියන්න යන්නේ මගෙ හදවතට තදිනම එහෙම දැනුනු දෙයක්.

අපේ ගෙදරත් ඉන්නවා පුංචිම පුංචි පොමනේරියන් වර්ගයේ බූල් පිරුණු හුරතල් බලු පැටියෙක්.දැන් නම් එයා පැටියෙක් නෙවෙයි,ටිකක් ලොකුයි.නම "ටීනා".එයා අපිට දක්වන ආදරේ දැක්කම වෙලාවකට පුදුම හිතෙනවා.මම කොහේ හරි ගිහින් එන වෙලාවට එයා වලිගය වනමින් උඩ පනිමින් කියන්න හදන්නේ එයාට තියෙන සතුට වෙන්නැති.අපි එයා දිහාවට අවදානය යොමු කරනවට එයා හරි කැමතියි.එතකොට එයා බොරුවට ළඟ පාත තියෙන ගල් කැටයක් වගේ දෙයක් කටින් අරගෙන වේගෙන් දුවනවා,මම පස්සෙන් දුවලා එයි කියලා හිතාගෙන.මමත් ඉතින් සෙල්ලමට දුවලා යනවා.ටීනාට හරිම සතුටුයි.මම නැවතුනොත් එයා නැවතිලා බලන් ඉන්නවා මම පස්සෙන් එලවනකම්. පොඩි කාලේ ඉඳන් අපි එක්ක සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටපු විදිය.මේවා නිසා වෙන්නැති මුලු ගමේම අය "ටීනා" හරිම ආදරෙයි.ටීනා දැන් අපේම පවුලේ කෙනෙක් වගේ.බලු පැටියෙක් ගේනවට තදින්ම විරුද්ධ වුණු තාත්තත් දැන් එහෙම තමයි හිතන්නේ.ආහ්හ් තව දෙයක් ...ටීනා කවදාවත් තනියම ඉන්න කැමති නෑ.අපි කවුරුම හරි පේන්න ඕනිම තමයි.ඉතින් මම කාමරෙන් කාමරේට ගියත් එයත් එනවා.ඇවිල්ල පාඩුවේ හරහ වැටිල ඉන්නවා.

ඉතින් ඔහොම කාලයක් ගත වුණා."ටීනා" හදිස්සියෙම අසාමාන් විදියට ලෙඩ වුණා.කිසිම කෑමක් ගන්න බැරි වුණා.අපි කිසි කෙනෙක් දිහා බැලුවෙවත් නෑ.ඇස් දෙකේ කඳුලු පුරෝගෙන වගේ මේසෙ යටට වෙලා හිටියා.ටිකෙන් ටික ටීනාගේ ඇඟේ ශක්තිය අඩු වුණා.කකුල් හතරෙන් හිටගන්නවත් බැරිව ගියා.හිටගන්නකොට වැටෙනවා.අපේ ගෙදර අයට මේක දරාගන්න බැරි වුණා.කිසිම බෙහෙතකින් වැඩක් වුණේ නෑ.අපි හැනදෙනාම දැනගෙන හිටියා ටීනා තවත් ජීවත් වෙන එකක් නැහැ කියලා.එක දිගට එකම ඉරියව්වෙන් එයා තවත් දවසක් පමණ හිටියා.කිසිම හෙලවීමක්වත් නැහැ.අයියා ළඟට ගිහින් බැලුවේ ටීනා හුස්ම ගන්නවද කියලා.
"තාම හුස්ම වැටෙනවා"

අයියා කිව්වාම මගේ ඇඟ පිච්චිලා වගේ ගියා.අනේ මගේ "ටීනා".මට කෑ ගහලා අඬන්න තරම් හිතුනා.දෙවියනේ තිරිසන් සතෙකුට මේ තරම් අපේ ජීවිත වලට සමීප වෙන්න පුලුවන්ද?එදා මට දැනුණා කෙනෙකු අහිමි වීම මොන තරම් වේදනාවක්ද කියලා.ඇත්තටම ඒක හදවත ඇතුල තියුණු ආයුධේකින් පහුරු ගානව වගේ දෙයක්....ම්ම්ම්..නෑ එහෙම නෙවෙයි,මට ඒක කියන්න තේරෙන්නේ නෑ.එදා මගේ සුපුරුදු කවිය මා ළඟ හිටියා.මම මගේ හිතේ තියෙන දුක කවියකට නැගුවා... කවිය මේ කථාව වස්තු බීජය කරගත් වෙනත් අදහසක් දෙන්නක්.කවියක් හිතට ඔසුවක් වෙන හැටි...


නෙක නෙක මතකයන් අතරේ __________ සොඳුරුතම
අමතක නොවන දේවල් ඇත  ____________නිසැකවම
කොතැනින් කොහොම අරඹම්දෝ කවිය _________මම
පුදුමයි සතුන් හා මිනිසුන් අතර _______________පෙම

කවදත් වගේ මම ආසම කරපු ________________දෙය
ලැබුනයි එදින අද වාගේ මෙනෙහි _____________ විය
සුරතල් කුඩා බලු පැටවෙකු ගෙදර  _____________අය
දුන්නේ තෑගි බේරිල්ලක්  _______________නැතුවමය

සුරතල් වෙවී ගෙයි හැමතැන නටන  ___________සතා
දැන් මම නොවෙමි අප නිවසේ පොඩිම  ________පුතා
කියවා සතුන් ගැන ලියවිණු විවිධ ____________ කතා
දැම්මෙමි නමක් ටීනා යයි හොඳට ____________සිතා

යන යන තැනට මා පස්සෙන් __________පැමිණෙන්න
හුරතල් වෙවී මා අසලම ______________ දැවටෙන්න
පාසල ඇරී එනතුරු මඟරැක ______________ උන්න
පන්හිඳ මදිය අප මිතුදම _______________ පවසන්න

සමහර දිනක මම ලෙඩවී ඇඳට _____________වෙලා
සිටියෙමි දුකින් කෑ ගසමින් ඉවත ____________ බලා
නුඹගේ දෙනෙත මා විෂයෙන් ඉවත________  නොලා
මතකයි දෙතුන් දවසක්රැය පහන් ___________ කලා

කාලය ගෙවී තව වැදගත් දෙයක _____________මුල
නොගිහින් බැරිය දැන් කැම්පස් ලැබුනු________  කල
උගනා තුරා මා මේ සිව් වසර _______________ තුල
වෙන් වී ඉඳුම සිර කරනා සෙයකි___________  ගෙල

අහුරා සියලු පොත් පත් ගෙන යන_________  මල්ලේ
හැදුවත් යන්න ඇසිපිය වේගෙන් _________ හෙල්ලේ
මඟ අවුරලා උඹ තවමත් බිම ___________ පෙල්ලේ
ගැටුනයි දෙනෙත් හතරක් යළි එක ________ එල්ලේ

එනතුරු මගේ ඉගෙනුම මම නිම __________කරලා
යන්නම් ඉතින් ටික කලකට අත __________ හැරලා
දැන්වත් ඉතින් මම එනතුරු මෙහි________  පෙරලා
කියපන් ඉතින් කියපන් මොකවත්_________  බුරලා

දවසක් කොළඹ මා නැවතී සිටින _________  ගෙය
ලිපිනෙට පැමිණි කෙටි ලිපියක් මටද________  විය
සතුටින් විවර කර බැලුවෙමි හනික _________ එය
ඇයි වෙන් වෙන්නෙ අපි ආදරෙ කරන ______  අය

ඊයේ රෑත් නුඹෙ ඇඳ මත ___________සැතපෙම්මා
දුකෙනුයි උන්නෙ ඔබ දුන් සෙනෙහස _____ නිම්මා
අයියේ ඉතින් හැන්දෑවේ අපෙ ___________ අම්මා
"ටීනා" වත්තෙ දෙල් ගහ යට වල________  දැම්මා

.....කවිය ඉවර උනේ හිතට දරාගන්න බැරි දුකක් දනවමින්.අපි හැමෝම ටීනා ළඟට වෙලා හිටියා.කාලය හෙමි හෙමින් ගෙවිලා ගියා.දින ගාණක් වතුර උගුරක්වත් නොබී හිටපු ටීනා යන්තමින් ඔලුව ඔසවලා ළඟ තිබුණු වතුර එක දිහා බැලුවා.අනේ අසරණ සතාට වතුර බොන්න ඕන වෙලා.ඒත් ඌට ඒකට ශක්තියක් නෑ. තරම්ම ටීනා දුර්වලයි.මම හැකි තරම් පරෙස්සමෙන් ටීනාට වතුර දුන්නා.අනේ  වතුර උගුරු දෙකක් බීපු තිරිසන් සතා මගේ දිහා හෙලපු කෘතඥතා පූර්වක බැල්ම මිනිසෙකුගෙන්වත් ලැබේවිද කියලා මට හිතෙනවා.ටීනාගේ ඇස් දෙක කඳුලු පිරිලා වගේ දිළිසෙනවා.අපි හැමෝම ටීනා සනීප වෙන්න කියලා හිතින් පැතුවා.
අදහන්න බැරි විදියට ටීනා ටිකින් ටික පන ලැබුවා.වැටි වැටී නැගිට්ටා.දින ගණනක් ඇඟේ චලනයක්වත් නැතිව හිටපු ටීනාගේ එක චලනයක් පවා අපිට පුදුමාකාර සතුටක් ගෙන දුන්නා.ටීනා ආයෙමත් අපේ ගේ පුරා දඟ කරමින් හුරතල් වෙවී නටාවි කියලා අපි මොහොතකටවත් හිතුවේ නෑ.ඒත් දැන් ටීනා ආයෙමත් අපේ සුපුරුදු සුරතලා වෙලා.අනේ මගේ "ටීනා" අපට උගන්වපු පාඩමක තරම!!!අපේ කෙනෙක් අපෙන් වෙන් වෙනකොට තියෙන වේදනාව අපි කාටත් දැනුනා. මොහොත මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නැහැ. තරම්ම මේ සුරතලා අපේ ජීවිතේට සමීප වෙලා.නිවාඩුවක් ලැබුන ගමන් මම ගෙදර දුවන්නේ අම්මා,තාත්තා,සහෝදර සහෝදරියන් බලන්න විතරක් නෙවෙයි,මගේ සුරතලා බලන්නත් එක්ක.

2 comments:

  1. උසස්, සංවේදී නිර්මාණයක්...

    ReplyDelete