Monday, August 8, 2011

තව මොහොතකින් මා දිවියද වේවි නිමී....


බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි
පින්බර සුවාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ
මාගේ මරණ දිනේ

මගෙ අම්මාවත් දොර‍ටුව අද්දර
හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද
බුදු බව ලැබෙයි අනේ.

සනත් නන්දසිරි මහත්මයා කියන මේ ගීතය හැමෝම අහලා ඇති.ඒක ඉතාම සංවේදී ගීතයක්.අයහපත් මිතුරන් ආශ්‍රය නිසා නොමඟට වැ‍ටුනු පුතෙකු පරපණ නැසීමෙන් පෝරකයට නියම වෙලා.තමන් කළ වැ‍රැද්ද ගැන ඔහු බෙහෙවින්ම කම්පා වෙනවා.නමුත් ඔහු ප්‍රමාද වැඩියි.තමුන්ගේ දරුවන් මොන වැ‍රැද්ද කළත් අම්මා කෙනෙක්ට ඒ තමුන්ගේ දරුවා කියන හැඟීමෙන් මිදෙන්නට බැහැ.ඉතින් මේ අම්මාත් හිර ගෙදර දොර‍ටුව ළඟට වෙලා පුතාගේ අවසාන මොහොත දක්වාම ඉන්නේ ඒ ආදරේ නිසා වෙන්නට ඇති.

"මගෙ අම්මාවත් දොර‍ටුව අද්දර -හිටියද කියනු මැනේ.....මා ගෙල ලූ බව ඇයට කියනවද -බුදු බව ලැබෙයි අනේ"...ඒ පුතාගේ අවසාන ඉල්ලීමේ තියෙන අසරණ කම මොන තරම් අපට දැනෙනවද?ඒ තරමටම මේ පද වැල ලස්සනයි.මෙහි පද රචකයා කව්ද කියන්න මම දන්නේ නෑ.නමුත් ඔහු එය අර්ථ රසය හා ශබ්ද රසය බිඳක්වත් නොනැසෙන විදියට රචනා කරල තියෙන අපූරුව හා සනත් නන්දසිරි සංගීතවේදියානන් එය ගායනා කරලා තියෙන අපූරුව මේ ගීතය ඇසුවොත් ඔයාලට තේරේවි.(සද්ද බද්ද නැති නිසංසල වෙලාවක දෑස් පියාගෙන මේ ගීතය රස විඳීමට තරම් ඔබ පින් කර තිබෙත්වා!!!)


මේ ගීතය කාලයක් මගේ හිතේ පැලපදියම් වෙලා තිනුනා.ඔහොම ඉන්නකොට දිනක් මම මේ කථා වස්තුව තරමක් වෙනස් විදියකට කවියට නැගුවා.ඒ තරම් මේ ගීය හදවතේ ගැඹුරටම කා වැදිලයි තිබුනේ. ඒ කවිය තමයි පහත තියෙන්නේ.රස වින්ඳානම් comment එකකුත් දාලම යන්න.එකම අදහස කියන්න කොයි තරම් නම් ක්‍රම තියෙනවද කියලා මම මේ කල්පනා කළේ.


පරපණ නසා මිනිසෙකු ලෙස නොකළ _________යුතූ
වරදක් කළෙමි නොදැනම කර්මයෙහි __________තතූ
මට නැත අයිති ජීවය අන් අයකු ______________සතූ
මොනවද මෙපව් සේදීමට කෙරිය ____________යුතූ

ඇසුරට වැටී දුදනන් හා පවි‍ටු ________________දන
කළ කී දෙයට මේ මරණය උරුම ____________විණ
ලැබුනත් නිතර හොඳ ඔවදන් සහිත __________ගුණ
වැයුවා සේය බීරෙකු වූ ඇතුට _____________වෙණ

සතුටින් හිටිය පවුලට මම කරපු ___________විනේ
හින්දා තමයි නිරයට දොර විවර __________වුණේ
යළි මට මිනිස් භවයක් නම් ලැබෙන _______දිනේ
දකිනා සේලු විය සිදුරෙන් අහස __________අනේ

අවසන් වරුව මේ දිවියේ ගෙවන ____________අද
මා එක දෙයක් ඉල්ලමි එය __________ලැබෙනවද
ගෙන්වා කෙළෙස් මඬනා හිමි කෙනෙකු ____සොඳ
ආසයි අසනු බණ පදයක් දෙදණ ___________වැඳ

හිමියනි මරණ මංචකයෙහි සිටින ___________විට
සිහියට ඒවි නොයෙකුත් පාපයන් __________මට
හොඳකට කියා ඇත්තේ සිහි ________කෙරුමකට
ශ්‍රවණය තමයි මේ ධර්මය ________මොහොතකට

දැන් යා යුතුය පෝරකයට මෙමට __________හිමී
අවසන් හුස්ම ළය පුරවා උඩට ____________ගමී
අම්මේ වඳිමි නුඹෙ පායුග බිමට ___________නැමී
තව මොහොතකින් මා දිවියද වේවි _________නිමී

2 comments:

  1. ඉතාම අගනා නිර්මාණයක්. ඉදිරි ගමනට සුභ පැතුම්...!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දෞපදී....:-)

    ReplyDelete